වසර 25කට ආසන්න කාලයක් රාජ්‍ය සේවයේ නියතුවුවත් මාහට ලැබෙන
මාසික වේතනය ප්‍රමාණවත් වූයේ බිරිඳත් මටත් පුතාටත් කා බී ඇඳ පැළඳ සිටීමට පමණි.බැංකු
ණයක් ද ලබාගෙන යන්තම් ඉන්න හිටින්න පුංචි ගේ පොඩ්ඩක් හදාගන්නනට අප දැරූ වෙහෙස සුඵපටු
නොවේ. මා ලද වේතනය සකසුරුවම් ලෙසින් භාවිත කිරීමටත් සතුටින් ජීවත්
වීමටත් මගේ බිරිද පුරුදු වී සිටීම මට මහත් වූ අස්වැසිල්ලක් විය.
(ජීවිතේ සාගරේ පාවෙමින් යන ඔරුව ගල් පරක
ගොස් හැපී බිදෙන්නට වුව නපුර)
එහෙත් ටික කලකට පසු මගෙ පුංචි පැළට කණකොකා හඬලන්නට විය.නිවසේ
සියලු වැඩපල කරමින් දරුවාද ආදරෙන් රැක බලා ගත් ඈ මා හටද මහත් ශක්තියක් විය. එහෙත් හදිසියේම
ඇයට ඇතිවූ රෝගාබාධය උත්සන්න තත්ත්වයට පත් වීමත් සමඟම ඇය ඔත්පල තත්ත්වයට ඇද වැටුණි
.වසර ගණනක් මා මහසියෙන් රැස් කළ ධනය එක්කොට අමාරුවෙන් සාදා ගත් අපේ පුංචි නිවසද උකස් කොට ඇයට බෙහෙත් කිරීමට මා දෙවරක් සිතුවේ නැත. එහෙත් අවාසනාවකට ඒ
බෙහෙත් වලින්ද ඈට ගුණයක් නොවීය. ඇගේ වැඩවත් දැන් තනියම කර ගන්නට නොහැකිය. ඇය එසේ ඇදේ වැතිර සිටිනු දකින දකින වාරයේ
මාගේ හදවත දෙකඩ වී යයි.එය ඇයට පමණක් නොව මටද දරාගත නොහැකි දුකක් විය.
එතැන් පටන් මා පාන්දර 4ට අවදි වී ඇගේ සාත්තු සප්පායම්ද පුතාගේ වැඩ කටයුතුද ගෙදර
වැඩද තනිවම ඉටු කළත් කිසිම දිනක ඈ කෙරෙහි තරහක් මා සිතට ආවේද නැත. පුතා කුඩා වුවත්
තම මවට ආදරයෙන් සැළකීමට සෑම විටම කටයුතු කිරීම මටද මහත් සතුටක් විය.මටත් කමලාටත් ඉන්
පසු එකම සැනසීම වූයේ පුතා පමණි.
"පුතා ... ඉක්මනට ලැස්ති වෙන්න.අද ඔයා නිසා පරක්කු වෙන්නෙ
ඔන්න .මටත් අද ලොකු සර්ගෙන් බැනුම් තමා"
" හරි තාත්තා මං ලෑස්තියි "
"හොඳ පුතා,යමු එහෙනම් .අපි ගිහිම් එන්නම් කමලා කෑම ටික
කාලා බෙහෙත් ටික වෙලාවට බොන්න. එන ගමන් මං අනිත් බෙහෙත් ටිකත් අද
අරන් එන්නම් ." කියා ඇගේ හිස අතගා මා මිදුලට පැමිණ සයිකලයට නැග්ගෙමි .පුතා අම්මටද
වැද මා හටද වැඳ ඉක්මනින් සයිකලයට නැග්ගේය.
නගරයේ ඇති ජනප්‍රිය පාසලට මගේ පුතා ඇතුළත් කර ගැනීමට හැකි
වීම ආඩම්බරයට කරුණක් වූයේ ගමේ අනෙක් අයට එම පාසලට දරුවන් ඇතුළත් කිරීම හීනයක් වූ නිසාවෙනි.ඒ
මන්ද යත් එම පාසල බොහෝ බලය ඇති පන්තියේ දෙමාපියන්ගේ දරුවන්ට අයත් වූ නිසාවෙනි .කෙසේ නමුත් එම වාසනාව මගේ පුතාටද ලැබුණෙ මා එම පාසලේ සේවය කරන නිසා
බව මා හොඳාකාරවම දනී .ඔහු මා සේවය කරන තැනම තබා ගැනීමට හැකි වීම නිසා මාද ඔහුව නිතර
බැලීමටත් ඔහුද මා සොයා පැමිණීමටත් පුරුද්දක් එකල පැවතුණි .
පාසලේ ත්‍යාග ප්‍රධාන උත්සවයේ අනෙක් දරුවන් අබිබවා දක්ෂතම
ශිෂ්‍යයා ලෙසින් තයාග ලබන විට මා හට නිම් හිම් නැති සතුටක් ජනිත වන්නට විය.පියෙකු ලෙස
මා එතරම් වාසනාවන්ත වුවත් මගේ බිරිඳ මවක් ලෙස එම සතුට දෙනෙතින් දැක ගැනීමට නොහැකි වීම
පිළිබඳ පසුතැවිල්ලක් මා සිතෙහි කැකැරෙන්නට විය.ඇයට එම අවස්ථාව
දෑසින් දැක බලා ගන්නට නොහැකි වුවත් එතන සිදු වූ සියල්ල පුතා ගෙදර ඇවිත් තම මවට පැවසීම
නිසා ඇයට එය පරිකල්පනය කොට රසවිඳින්නට අවස්ථාව ලැබුණි.
"අම්මේ මේ බලන්නකො අද මට හම්බුණ තෑගි ලොකු සර් මට සහතිකේකුත්
දුන්නා හරිම ලස්සනයි නේද අම්මෙ "
කමලා ඔහුගේ වදන් අසමින් තෑගි දෙසද හරි ආදරයෙන් බලා සිටින
අතරේ ඇගේ කම්මුල් රූරා කඳුළු බිඳුවක් වැටෙද්දීම ඇය අත ඔසවා එය සගවා ගන්නට උත්සහ කළද
"ඇයි අම්මෙ මේ අඬන්නෙ අම්මට සතුටු නැද්ද "
"නෑ මගෙ පුතේ
මං අඬන්නෙ සතුට වැඩි කමට " කියා ඇය පුතාව සිඹ තුරුල් කර ගත්තාය.ඔවුන්ගේ කතාවට
මට මැදිහත් වෙන්න සිතුණත් ඔවුන්
දෙස බලද්දි මගේ හදවතේ ද තෙතමනය වැඩි වී එය දෑසින් පිට වන නිසා දොර රෙද්ද මෑත් කර බලා සිටි මා එතනින්
පිටවුණෙමි.
ටික වේලාවකින් මා නැවත කාමරයට පැමිණෙන විට ඔහු මවට තුරුල්
වී සැපසේ නිදා සිටියේය.මාද ගොස් ඇඳ මත ඉඳ ගත්තේ කමලා සමඟ කතා බස් කිරීමයි.ඇය මා කියන්නට
සිටි දේ දිවැසින් දැක්කා මෙන් ඇයම කතාවට මුල පිරුවාය.
"පුතාට හොඳට උගන්නන්න ඕන සනත්. අපිට තියෙන එකම සැනසීම
පුතා "
"ඔව් කමලා මාත් මේ කියන්න ආවේ ඒ ගැනම තමා .ලොකු සර්
මට අද අඬගහලම කියුවා පුතාව ඉංග්‍රීසි පන්තියකට දාලා හොඳට උගන්නන්න කියලා ."
"ඒත්... අපිට ඒවට වියදම් කරන්න සල්ලි?"
"ම්ම්ම් ලොකු සර්ලගෙ ළමයින්ව පන්ති එක්ක යන්න මට එන්න
කියලා අද සර් මට කියුවා ඔන්න .ඒකත් හොඳයි මට තව කීයක් හරි හොයා ගන්න පුළුවන් නෙ.අනික ඉතින් මං හවස්වරුවෙ
නිකන් ඉන්න එකනෙ,ඔයා මොකද කියන්නෙ ඒ ගැන "
"මං නම් කැමති නෑ ඔයා ඔච්චර මහන්සි වෙනවට ගෙදරත් මහන්සි
වෙලා රස්සාවෙත් මහන්සි වෙලා ආයෙත් හවසත් මහන්සි වෙන්න පුළුවනෑ "
"මේක ඉතිම් බර වැඩක් නෙමේනෙ කමලා .අනික ඒකෙන් හම්බෙන
සල්ලි පුතාව පන්ති වලට දාලා වැඩිපුර උගන්නන පුළුවන් නෙ "
කියා ගන්නට බැරිව ගොලු වූ වචන ගොඩක් හිතේ තැන්පත් කර ගත්
ඇය කිසිත් නොකියා මා දෙස බලාසිටියාය.
*
* * *
පෙර මෙන් දැන් වැඩ කරන්නට මගේ ගතේ ශක්තිය නැතත් හිතේ වීරියෙන්
මම වෙනදා රාජකාරි ඉටු කළෙමි.වෙනදා මා පාසල් ගියේ පුතාවත් සයිකලේ තබාගෙන වුවත් දැන් ඔහු හැඩි දැඩි ඉලන්දාරියෙකි.එහෙයින් ඔහුව තබාගෙන සයිකලය පදින්නට මට ශක්තිය නැත.එහෙත් මා ඹහුට එ්
ගැන පවසන්නටත් ප්‍රථම ඔහු දැන් පාසල් යන්නේ
මා සමඟ නො ව යහළුවන් සමඟයි.දෙමාපියන්ව තේරුම් ගන්නා පුතෙක් මට ඉන්නවායැයි මගේ හිතට
ආඩම්බරයක් ඇති විය.
එහෙත් කාලයක් ගතවෙත් ම වෙනදා මෙන් මාව පාසලේ දකින විට කතා
නොකර මග අරින්නටත් ගෙදරදිත් පෙර මෙන් ඔහු අප සමඟ කතා නොකිරීමත් කාලය ගත කිරීමට නොසිටීමත්
මගෙත් කමලාගෙත් සිතට සියුම් වේදනාවක් ගෙන දෙන්නක් විය.
දිනක් කමලා මේ පිළිබදව පුතාගෙන් විමසන්නට කටයුතු කළාය.
"පුතේ....."
"ඇයි අම්මෙ..."
"මෙහෙට පොඩ්ඩක් එන්න පුතේ මට ඔයත් එක්ක කතා කරන්න ඕන "
"කියන්න අම්මෙ "
“ඉස්සෙල්ලම මෙතනින් වාඩි වෙන්නකො”
"පුතේ, ඔයා දැන් ඉස්කොලෙ යද්දී තාත්තා එක්ක යන්නෙත්
නෑ එහෙදි කතා කරන්න යන්නෙත් නෑ .තාත්තව මග
අරින්න හදන්නවා වගේ කියලා මට තාත්තා කියපු විදියෙන් තේරුණේ .ඇයි පුතේ ඒ? "
"අම්මෙ, අම්මා දන්නවනෙ මගෙ ඉස්කෝලෙ යාළුවො ඔක්කොටම ලොකු
ලොකු රස්සා කරන අම්මලා තාත්තලා ඉන්නෙ .... ඉතින් මගෙ තාත්තා අපේ ඉස්කෝලෙ පියන් කියලා
මං කොහොමද ඒගොල්ලන්ට හඳුන්වලා දෙන්නෙ ?"
ඔවුන්ගේ කතාව මා සාලයේ සිට අසා සිටියෙමි.ඔහුගේ මුවින් පිටවූ
වචනයක් වචනයක් පාසා මගේ හදවත කෑලි කෑලි වලට ඉරා දමන්නාක් මෙන් හැඟීමක් මා සිතෙහි ඇති
විය. එය මට දරා ගන්නට නොහැකි තරමේ ලොකු වේදනාවකි.
පුතා ඒ වදන් පවසා ඔහුගේ කාමරය තුළට යනවා මං යන්තමින් දැක්කෙමි.
එහෙත් මා සිත තුළට පැමිණි හැගීම් සමුදායම සිර කර තබා ගත්තෙමි. විනාඩි කිහිපයක් යනතෙක්
මට පියවි සිහියටවත් පැමිණෙන්නට නොහැකි විය. කමලා මෙය කෙසේ දරා ගන්නේද යන්න මට සිතා
ගතවත් නොහැකි විය. මා සාලයෙන් කාමරයට යද්දීම ඈ ඒ සිදුවීම මගෙන් වසන් කරන්නාක් මෙන්
කඳුළු පිස දා ගත් සැටි මා දුටුවෙමි.එ නිසා මා ඈ සමගද ඒ පිළිබඳ කතා නොකරම නින්දට වැටුණි.
ඒ මුවින් පිට වූයේ වචන ස්වල්පයක් වුවත් එය මා හට වැදුණු පිහි පහරවල් දහසක් මෙන්
විය.
පුතාට සා.පෙළ ට තිබ්බේ මාස කිහිපයක් නිසා ඔහු උදේම පාසලට
යන්නටත් මා ඊට පසු යාමටත් සැරසුණේ ඔහු මා සමඟ යාමට අකමැති නිසාවෙනි.ඹහු පැවසූ දෙයෙහිද අසත්‍යක් නොමැති බවත් හැකි තරමින් පාසල තුළ අමුත්තෙකු ලෙසත්
මා ඹහුව දකින්නට උත්සහ ගතිමි.
කමලාගේද වැඩ කටයුතු
කර බලද්දී වෙනදාට වඩා මා බෙහෙවින් ප්‍රමාද වී තිබුණි
"කමලා අදනම් මං ගොඩක් පරක්කුයි .මං ගිහිම් එන්නම් පරිස්සමෙන්
ඉන්න "
"පරක්කු වුණාට වේගෙන් යන්න එපා .පරිස්සමෙන් ගිහින් එන්න
සනත්"
"හරි හරි කමලා" පවසා බෑගයද ගෙන සයිකලයට නැග්ගෙමි.
පාරේ වාහනද ඒ වෙලාවේ අඩුවෙන් තිබූ නිසාත් ප්‍රමාද වී තිබීම
නිසාත් මා ලෑල්ලට පාගා ගියෙමි. මහ පාරට සයිකලය දමද්දීම විශාල ලොරියක් මා දෙසට එන බව
දැනුණත් මා එවිට ප්‍රමාද බව මට හැගිණි.
දෑස් ඇර මා බලද්දී
සිටියේ රෝහලේය.ලොකු සර් මගේ පුතාත් සමඟ ඇද
අසල සිටිනු මා අවසිහියෙන් මෙන් දුටුවෙමි. මගේ ඇඟ පුරා කටු ගසා
ඇති බවත් මගේ හදවත මැශිමකට සවි කර ඇති බවත් මට දැනුණි.
"තාත්තේ...." කියා පුතා මගේ හිසට අත තබා මොකක්දෝ
කියන්නට සැරසෙනවා යැයි මට හැගුණි .එහෙත් ඔහුගේ වචන වලට වඩා කඳුළු වේගවත් විය.
මගේ හදවත ද මොහොතනට නතර විය.
මට කතා කරන්නට වුවමනා වුවත් වචන පිට වෙන්නේ නැති යැයි මට
හැගුණද බොහොම අමාරුවෙන්,
"පුතේ.... එ..යා..ලා ..දැන ...ග ත් ...ත ද .." ආසනවාත් සමගම සියලු හැගීම් ද
හදවතේ තැන්පත් කර ගෙන මගෙ ආදරණීය බිරිදත් පුතාත් මෙලොව තනිකර දමා
මා දෑස් පියා ගත්තෙමි.
නිමි.
✍ උරේෂා සෙව්මිණි